කෘත්‍රිම බුද්ධි සේවාවන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අතිවිශාල computing power එක සපයන Data Centers වේගයෙන් ඉදිකිරීමට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පුරා ජනතා විරෝධතා පැතිර යමින් තිබෙනවා.

Reuters වාර්තාවට අනුව, HumansFirst නම් සංවිධානය විසින් 2026 ජූලි 18 වැනිදා අවම වශයෙන් ඇමරිකාවේ ස්ථාන 125ක විරෝධතා සංවිධානය කර තිබෙනවා. Texas ප්‍රාන්තයේ පමණක් විරෝධතා 16ක් සැලසුම් කර තිබූ අතර Georgia ප්‍රාන්තයේ විරෝධතා 11ක් සංවිධානය කර තිබුණා.

ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන චෝදනා වන්නේ මෙම දත්ත මධ්‍යස්ථාන නිසා විදුලි ඉල්ලුම සහ විදුලි බිල්පත් ඉහළ යා හැකි බව, විශාල ජල ප්‍රමාණයක් භාවිත කිරීම, පරිසර දූෂණය සහ ඉදිකිරීම් සඳහා ඉඩම් ලබාගැනීමේදී ප්‍රමාණවත් විනිවිදභාවයක් නොමැති වීමයි.

විශේෂයෙන්ම AI models පුහුණු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන දත්ත මධ්‍යස්ථාන සාමාන්‍ය දත්ත මධ්‍යස්ථානවලට වඩා වැඩි විදුලි බලයක් අවශ්‍ය කරනවා. ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2023දී Data Centers විසින් ඇමරිකාවේ සමස්ත විදුලි පරිභෝජනයෙන් 4.4%ක් පමණ භාවිත කර තිබෙනවා. එය 2028 වන විට 6.7%ත් 12%ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

Reuters/Ipsos සමීක්ෂණයකදී පුද්ගලයන් 4,531 දෙනෙකුගෙන් අදහස් ලබාගෙන තිබුණා. එහිදී 57%ක් තම ප්‍රදේශයේ දත්ත මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරුද්ධ බව ප්‍රකාශ කර ඇති අතර, එවැනි ව්‍යාපෘතියකට කැමැත්ත පළකර තිබුණේ 14%ක් පමණයි. AI දත්ත මධ්‍යස්ථාන නිසා විදුලි ගාස්තු ඉහළ යනු ඇතැයි 77%ක් සැලකිලිමත් වී තිබෙනවා.

Data Center ඉදිකිරීමට බලාපොරොත්තු වන ආයතන පවසන්නේ තම ආයතන ක්‍රියාත්මක වන ප්‍රදේශවල වගකීම් සහගතව කටයුතු කිරීමට කැපවී සිටින බවයි. කෙසේ වෙතත්, ජනතාව ඉල්ලා සිටින්නේ නව ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයෙන් සිදු කිරීම, ජලය සහ විදුලිය වැනි සම්පත් ආරක්ෂා කිරීම සහ ප්‍රදේශවාසීන්ට සැබෑ ප්‍රතිලාභ ලබාදීමයි.

මෙම තත්ත්වය අනුව AI තාක්ෂණයේ වර්ධනය software සහ computer chipsවලට පමණක් සීමා නොවන බව පැහැදිලියි. එය විදුලිබල පද්ධති, ජල සම්පත්, පරිසරය සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ට සෘජුවම බලපාන විශාල යටිතල පහසුකම් අභියෝගයක් බවට පත්වෙමින් තිබෙනවා.

Source·Reuters U.S. Department of Energy