Netflix සමාගම විසින් 2026 වසර තුළ සිය චිත්‍රපට සහ කතාමාලා 300කට ආසන්න සංඛ්‍යාවක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා Generative AI තාක්ෂණය භාවිත කර ඇති බව අනාවරණය කර තිබෙනවා.

සමාගම නිකුත් කළ 2026 දෙවන කාර්තුවේ කොටස් හිමියන් සඳහා වූ වාර්තාවට අනුව, නිර්මාණයක මූලික අදහස සැලසුම් කිරීමේ සිට දෘශ්‍ය සැලසුම්, පසු නිෂ්පාදන කටයුතු සහ අවසාන නිමැවුම ලබාදීම දක්වා විවිධ අවස්ථාවල AI මෙවලම් යොදාගෙන තිබෙනවා. කෙසේවෙතත්, ඒවා වැඩි වශයෙන් භාවිත කර ඇත්තේ post-production කටයුතු සඳහායි.

විශාල ජනකායක් සහිත දර්ශන නිර්මාණය කිරීම, ඓතිහාසික සටන් දර්ශන වැඩිදියුණු කිරීම සහ චිත්‍රපටයක හෝ කතාමාලාවක පසුබිම් ලෝකය නිර්මාණය කිරීම වැනි සංකීර්ණ කටයුතු සඳහා මෙම තාක්ෂණය භාවිත කර තිබෙනවා. Glory, Brasil 70: A Saga do Tri සහ The American Experiment ඒ සඳහා Netflix සඳහන් කළ උදාහරණ කිහිපයක්.

Netflix සම ප්‍රධාන විධායක නිලධාරී Ted Sarandos පවසන ආකාරයට, The American Experiment වාර්තාමය කතාමාලාව සඳහා AI මගින් වැඩිදියුණු කළ දර්ශන මිනිත්තු 17ක් ඇතුළත් කර තිබෙනවා. සාම්ප්‍රදායික ක්‍රම සමඟ සැසඳීමේදී එම දර්ශන දෙගුණයක වේගයෙන් සහ පෙර වැයවන මුදලෙන් අඩකට නිර්මාණය කිරීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළා.

AI තාක්ෂණය මිනිසුන් වෙනුවට නිර්මාණ සිදුකරන ක්‍රමයක් ලෙස නොව, නිර්මාණකරුවන්ගේ අදහස් වඩාත් ඉක්මනින් සහ අඩු වියදමකින් යථාර්ථයක් බවට පත් කිරීමට උපකාර වන මෙවලමක් ලෙස Netflix හඳුන්වා දෙනවා. AI නොතිබුණේ නම් වියදම සහ කාලය හේතුවෙන් ඇතැම් සංකීර්ණ දර්ශන නිර්මාණවලින් ඉවත් කිරීමට සිදුවිය හැකි බවද සමාගම පවසනවා.

මෙම අනාවරණයත් සමඟ Generative AI තාක්ෂණය අත්හදා බැලීමේ අදියරෙන් ඔබ්බට ගොස්, ලෝකයේ විශාලතම entertainment platformsවල සාමාන්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේ කොටසක් බවට වේගයෙන් පත්වෙමින් ඇති බව පෙනී යනවා.


Source·The Verge

 

1

Footnotes

  1. Netflix Q2 2026 Shareholder Letter Download