යුරෝපා සංගමය Google සමාගමට එහි Android මෙහෙයුම් පද්ධතිය සහ Google Search සේවාවේ ඇතැම් දත්ත, තරගකාරී AI සහ Search සේවාවන් සඳහා විවෘත කරන ලෙස නව නියෝග නිකුත් කර තිබෙනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ යුරෝපා සංගමයේ Digital Markets Act (DMA) නීතිය යටතේයි. විශාල තාක්ෂණික සමාගම් තම වෙළෙඳපොළ බලය භාවිත කරමින් අනෙකුත් සේවාවන්ට අසාධාරණ බාධා ඇති කිරීම වැළැක්වීම එහි අරමුණයි.

නව නියෝගයට අනුව Google විසින් තම Gemini AI සේවාවට ලබාදී ඇති Android පහසුකම්වලට සමාන ප්‍රවේශයක් තෙවන පාර්ශ්ව AI assistants සඳහාද ලබාදිය යුතු වෙනවා. ඒ අනුව හඬ මගින් AI assistant එකක් සක්‍රිය කිරීම, background tasks සිදු කිරීම, තොරතුරු සෙවීම සහ booking වැනි කාර්යයන් සඳහා වෙනත් AI සේවාවන්ටද Android සමඟ ගැඹුරින් සම්බන්ධ වීමේ අවස්ථාව ලැබිය හැකියි.

මෙය ක්‍රියාත්මක වුවහොත් අනාගතයේ Android දුරකථනයක ප්‍රධාන AI assistant ලෙස Gemini වෙනුවට ChatGPT, Perplexity හෝ වෙනත් සේවාවක් තෝරාගෙන භාවිත කිරීම වඩාත් පහසු විය හැකියි. කෙසේවෙතත්, මෙම වෙනස්කම් Android තුළ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට Google සමාගමට 2027 ජූලි මාසය දක්වා කාලය ලබාදී තිබෙනවා.

Google Search සේවාව දියුණු කිරීමට භාවිත කරන ඇතැම් නිර්නාමික දත්ත තරගකාරී Search engines සහ Search පහසුකම් සහිත AI සේවාවන් සමඟ හුවමාරු කිරීමටද Google වෙත නියම කර තිබෙනවා. මෙම දත්ත හුවමාරු කිරීම 2027 ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

Google සමාගම පවසන්නේ මෙම දත්ත වෙනත් සමාගම් සමඟ බෙදාගැනීම පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට, ආරක්ෂාවට සහ සමාගමේ ව්‍යාපාරික රහස්වලට අවදානමක් ඇති කළ හැකි බවයි. නමුත් යුරෝපා කොමිසම පවසන්නේ සුදුසුකම් ලබන සමාගම්වලට පමණක් දැඩි ආරක්ෂක කොන්දේසි යටතේ ප්‍රවේශය ලබාදෙන බවයි.

මෙම තීරණය Android සහ Google Search ක්ෂේත්‍රයේ තරගකාරීත්වය වැඩි කිරීමට ගත් විශාල පියවරක් ලෙස සැලකිය හැකියි. එය සාර්ථකව ක්‍රියාත්මක වුවහොත් පරිශීලකයන්ට Google සේවාවන්ට පමණක් සීමා නොවී තමන් කැමති AI සහ Search සේවාවන් තෝරාගැනීමට වැඩි නිදහසක් ලැබෙනු ඇති.

Source·Reuters