Facebook Messenger, Instagram සහ WhatsApp වැනි සමාජ මාධ්‍ය platform භාවිත කරමින් පුද්ගලයන් බියගන්වා මුදල් ලබාගැනීමේ වංචාකාරී ක්‍රියාකාරකම් යළිත් වාර්තා වෙමින් පවතින බව ශ්‍රී ලංකා CERT අනතුරු අඟවා තිබෙනවා.
මෙවැනි වංචාවලට හසුවූ පුද්ගලයන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා CERT වෙත පැමිණිලි කර ඇති අතර, මෙම ක්‍රියාකාරකම් පිටුපස විදෙස් රටවල සිට ක්‍රියාත්මක වන වංචාකරුවන් සිටිය හැකි බවට සැක කෙරෙන කරුණුද අනාවරණය වී තිබෙනවා.
වංචාකරුවන් Facebook Messenger, Instagram සහ Telegram වැනි social media platform හරහා තෝරාගත් පුද්ගලයන් සමඟ මුලින්ම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නා බව සඳහන්. පසුව ඔවුන් WhatsApp video call වෙත යොමු කරමින් පුද්ගලික හෝ නිරුවත් දර්ශන ලබාගැනීමට උත්සාහ කරන අතර, ඒවා භාවිත කරමින් මුදල් ඉල්ලා තර්ජනය කිරීම මෙම වංචාවේ ප්‍රධාන ක්‍රමවේදය වී තිබෙනවා.
මෑතදී වාර්තා වූ සිද්ධි කිහිපයකදී වංචාකරුවන් Instagram හරහා තරුණියකගේ නමින් ඇති account එකක් භාවිත කරමින් පළමුව “Hi” වැනි සරල message එකක් යවා තිබෙනවා. දින කිහිපයක් පුරා chat කිරීමෙන් විශ්වාසයක් ඇතිකර ගැනීමෙන් පසු පුද්ගලික ඡායාරූප යවා WhatsApp video call එකකට එක්වන ලෙස ඉල්ලා ඇති බවයි CERT සඳහන් කරන්නේ.
එවැනි අවස්ථාවක video call එක record කිරීම හෝ screenshots ලබාගැනීමෙන් පසු, ඒවා අදාළ පුද්ගලයාගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයන් වෙත යවන බවට තර්ජනය කරමින් මුදල් ඉල්ලා තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී මුලින් රුපියල් 5,000ක් හෝ 10,000ක් වැනි මුදලක් ඉල්ලා පසුව රුපියල් ලක්ෂයක් දක්වා වැඩි මුදල් ඉල්ලා ඇති බවද වාර්තා වෙනවා.
වංචාකරුවන් ගොදුර තෝරාගැනීමට පෙර ඔහුගේ හෝ ඇයගේ friends list සහ පවුලේ සාමාජිකයන් පිළිබඳ තොරතුරුද එකතු කරගන්නා බව ශ්‍රී ලංකා CERT පෙන්වා දෙනවා. මේ නිසා පසුව තර්ජනය කිරීමේදී අදාළ පුද්ගලයාගේ සහෝදර සහෝදරියන් හෝ සමීප මිතුරන් සෘජුවම ඉලක්ක කරගැනීමට ඔවුන්ට හැකි වෙනවා.
මීට පෙර මෙවැනි වංචාවලදී විදෙස් බැංකු ගිණුම් වෙත මුදල් යැවීමට උපදෙස් ලබාදී තිබුණද, මෑත සිදුවීම්වලදී ශ්‍රී ලංකාවේ පුද්ගලික බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරන ලෙස දැනුම් දී ඇති අවස්ථාද වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙම වංචාවට ශ්‍රී ලාංකිකයන්ගේ සම්බන්ධතාවයක් තිබේද යන්න පිළිබඳවද සැක මතුව තිබෙනවා.
ශ්‍රී ලංකා CERT පෙන්වා දෙන්නේ මෙවැනි තර්ජනයකට හසුවූ විට වංචාකරුවන් ඉල්ලා සිටින මුදල් නැවත නැවත ගෙවීමෙන් ගැටලුව අවසන් නොවන බවයි. එක් වරක් මුදල් ගෙවූ පසු තවත් මුදල් ඉල්ලා තර්ජනය කිරීම දිගටම සිදුවිය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා.
එබැවින් නොහඳුනන පුද්ගලයන්ගෙන් ලැබෙන messages, friend requests, video calls සහ සැකසහිත links සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත්, අන්තර්ජාලය හරහා හඳුනාගත් පුද්ගලයන් සමඟ සංවේදී ඡායාරූප හෝ වීඩියෝ හුවමාරු නොකරන ලෙසත් ශ්‍රී ලංකා CERT ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වංචාවකට හෝ සයිබර් අපරාධමය සිදුවීමකට ගොදුරු වී ඇත්නම් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (SLCERT) වෙතින් සහාය ලබාගත හැකිය.
- Sri Lanka CERT Hotline: 101
- දුරකථන: +94 11 269 1692





