OpenAI සමාගම විසින් ChatGPT නැවතත් WhatsApp හරහා භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. 2026 ජූලි 13 දින නිකුත් කළ නිල ChatGPT Release Notes අනුව මෙම සේවාව දැනට European Economic Area හෙවත් EEA කලාපයේ WhatsApp පරිශීලකයන් සඳහා යළි සක්‍රිය කර තිබෙනවා.

WhatsApp හරහා ChatGPT භාවිත කළ හැක්කේ කෙසේද?

සුදුසුකම් ලබන කලාපයක සිටින පරිශීලකයන්ට OpenAI සමාගමේ verified 1-800-CHATGPT WhatsApp contact එක හරහා ChatGPT සමඟ සංවාද ආරම්භ කළ හැකියි.

භාවිත කළ යුතු නිල දුරකථන අංකය වන්නේ:

+1 800 242 8478

ChatGPT account එකක් නොමැතිව වුවද මෙම අංකයට WhatsApp message එකක් යවා සේවාව භාවිත කිරීම ආරම්භ කළ හැකියි. ChatGPT account එකක් WhatsApp සේවාව සමඟ සම්බන්ධ කිරීම අනිවාර්ය නොවන නමුත් account එක සම්බන්ධ කිරීමෙන් වැඩි usage limits ලබාගත හැකි බව OpenAI සඳහන් කරනවා.

WhatsApp හරහා ChatGPT භාවිත කරමින්,

  • සාමාන්‍ය text messages යැවීම
  • පින්තූර upload කර ඒවා ගැන ප්‍රශ්න කිරීම
  • Voice notes යැවීම
  • AI images නිර්මාණය කිරීම
  • විවිධ භාෂාවලින් ChatGPT සමඟ සංවාද කිරීම

වැනි කාර්යයන් සිදු කළ හැකියි. කෙසේ වෙතත් භාවිතයට අදාළ සීමාවන් පවතින අතර මෙම පහසුකම ක්‍රමයෙන් පරිශීලකයන් වෙත ලබාදෙන බවද OpenAI නිවේදනයේ සඳහන් වෙනවා.

ChatGPT මීට පෙර WhatsApp වෙතින් ඉවත් කළේ ඇයි?

OpenAI සමාගම මුලින්ම ChatGPT WhatsApp සේවාව නතර කිරීමට තීරණය කළේ Meta සමාගම විසින් WhatsApp Business API සඳහා හඳුන්වාදුන් ප්‍රතිපත්ති වෙනසක් හේතුවෙන්.

2025 ඔක්තෝබර් මාසයේදී Meta සමාගම WhatsApp Business API එක හරහා third-party general-purpose AI assistants ක්‍රියාත්මක කිරීම සීමා කරන නව ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කළා. එම නීති 2026 ජනවාරි 15 සිට ක්‍රියාත්මක වීමත් සමඟ ChatGPT ඇතුළු වෙනත් AI assistants සඳහා WhatsApp වෙත තිබූ ප්‍රවේශය නතර වුණා.

OpenAI සමාගම එවකට සඳහන් කළේ මිලියන 50කට වැඩි පිරිසක් WhatsApp හරහා ChatGPT භාවිත කර තිබූ බවයි.

ChatGPT නැවත WhatsApp වෙත පැමිණීමට හේතුව

Meta සමාගමේ මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යුරෝපීය කොමිසම තරගකාරීත්ව නීති යටතේ පරීක්ෂණයක් ආරම්භ කළා. Meta සමාගම තමන්ගේ Meta AI සේවාවට ප්‍රමුඛතාව ලබාදෙමින් තරගකාරී AI සේවාවන් WhatsApp වෙතින් ඉවත් කරන බවට චෝදනා එල්ල වුණා.

2026 ජූනි මාසයේදී යුරෝපීය කොමිසම විසින් පරීක්ෂණය අවසන් වන තෙක් OpenAI වැනි තරගකාරී AI සේවාවන්ට WhatsApp Business API එක සඳහා ප්‍රවේශය යළි ලබාදෙන ලෙස Meta සමාගමට අතුරු නියෝගයක් නිකුත් කළා.

එම නියෝගය අනුව පෙර පැවති කොන්දේසි යටතේ දින පහක් ඇතුළත තරගකාරී AI assistants සඳහා ප්‍රවේශය යළි ලබාදිය යුතු වුණා. මෙම නියෝගයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරන බව Meta සමාගම ප්‍රකාශ කර තිබෙන අතර සම්පූර්ණ antitrust පරීක්ෂණය තවම අවසන් වී නැහැ.

ශ්‍රී ලංකාවේ පරිශීලකයන්ට භාවිත කළ හැකිද?

මේ වනවිට මෙම නව WhatsApp සේවාව ලබාදී තිබෙන්නේ EEA කලාපයට පමණයි. සේවාව ලබාදීම තීරණය කරන්නේ පරිශීලකයා සිටින ස්ථානය මත නොව WhatsApp account එකට සම්බන්ධ කර ඇති දුරකථන අංකයේ country code එක අනුව බව OpenAI සඳහන් කරනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ +94 දුරකථන අංක භාවිත කරන පරිශීලකයන්ට මෙම නිල rollout එක යටතේ දැනට ChatGPT WhatsApp සේවාව ලබාගත නොහැකියි.

OpenAI සමාගම ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් සඳහා මෙය නිකුත් කරන දිනයක් තවම නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ. එබැවින් +1 800 242 8478 අංකය save කර message කළද, ශ්‍රී ලංකාවේ අංකයකින් සේවාව ක්‍රියා නොකිරීමට ඉඩ තිබෙනවා.

ව්‍යාජ ChatGPT WhatsApp අංකවලින් ප්‍රවේශම් වන්න

ChatGPT නමින් WhatsApp හරහා ක්‍රියාත්මක වන ව්‍යාජ accounts සහ chatbots ද තිබිය හැකි නිසා, ලැබෙන ඕනෑම අංකයකට පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින්න.

OpenAI විසින් නිල වශයෙන් සඳහන් කර ඇති අංකය +1 800 242 8478 වන අතර WhatsApp contact profile එකේ verified සලකුණ තිබේද යන්නද පරීක්ෂා කිරීම වැදගත්.

Password, OTP, බැංකු ගිණුම් තොරතුරු හෝ credit card තොරතුරු ඉල්ලා සිටින accounts වෙත ඒවා ලබා නොදෙන්න.

ඉදිරියේදී ලොව පුරා ලබාදෙයිද?

ChatGPT යළි WhatsApp වෙත පැමිණීම AI සේවාවන් සරල messaging applications තුළින් භාවිත කිරීමට කැමති පරිශීලකයන්ට වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි.

කෙසේ වෙතත්, මෙම සේවාව ශ්‍රී ලංකාව ඇතුළු ලොව අනෙකුත් කලාපවලට ලබාදෙන්නේද යන්න පිළිබඳව OpenAI සමාගම තවම නිල කාලසටහනක් ප්‍රකාශ කර නැහැ.

එම නිසා දැනට පවතින නිවැරදි තොරතුර වන්නේ ChatGPT WhatsApp සේවාව නැවත පැමිණ ඇති නමුත් එය මේ මොහොතේ EEA කලාපයට පමණක් සීමා වී ඇති බවයි.

Chatgpt release note