වයස අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කිරීම තහනම් කරන නව නීතියක් 2026 ජූලි 21 වන දින ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත ප්‍රංශ සෙනෙට් සභාව සහ ජාතික සභාව යන පාර්ලිමේන්තුවේ සභා දෙකෙන්ම අනුමත වී ඇති අතර, මෙවැනි පුළුල් සමාජ මාධ්‍ය තහනමක් සම්මත කළ පළමු යුරෝපා සංගම් රට බවට ප්‍රංශය පත්ව තිබෙනවා.
සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්
නව නීතිය අනුව 2026 සැප්තැම්බර් 1 වන දින සිට වයස අවුරුදු 15ට අඩු පුද්ගලයන්ට අලුතින් සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීමට අවස්ථාව ලබා නොදිය යුතුයි.
වයස අවුරුදු 15ට අඩු පරිශීලකයන් සතුව දැනට පවතින ගිණුම් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය සමාගම්වලට මාස හතරක කාලයක් ලබාදීමටද නියමිතයි. ඒ අනුව පවතින ගිණුම් 2027 ජනවාරි මාසය වන විට අක්‍රිය කළ යුතු වනවා.
TikTok, Instagram සහ Snapchat වැනි සේවාවන්ට සිය පරිශීලකයන්ගේ වයස තහවුරු කිරීම සඳහා සුදුසු Age Verification ක්‍රම හඳුන්වාදීමට සිදුවනු ඇති බව වාර්තා වනවා. එම ක්‍රම ප්‍රංශයේ දත්ත ආරක්ෂණ නියාමන ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූල විය යුතුයි.
ළමුන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම අරමුණයි
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙම නීතිය සඳහා ප්‍රබල සහයෝගයක් ලබාදී තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා ළමුන් Cyberbullying, හානිකර අන්තර්ගත, අධික Screen Time සහ නින්දේ ගැටලු වැනි අවදානම්වලට නිරාවරණය වීම අවම කිරීම එහි ප්‍රධාන අරමුණක්.
සමාජ මාධ්‍ය භාවිතය සහ තරුණයන් අතර පවතින මානසික පීඩනය, අවපීඩනය සහ Self-harm සම්බන්ධයෙන් පළවී ඇති කනස්සල්ලද මෙම තීරණය ගැනීමට බලපා ඇති බව වාර්තා වනවා.
පාසල්වල ජංගම දුරකථන භාවිතයටත් සීමා
නව නීතියට සමාජ මාධ්‍ය තහනමට අමතරව ප්‍රංශයේ උසස් පාසල්වල ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමේ විධිවිධානද ඇතුළත් වනවා.
අධ්‍යාපනික සහ විද්‍යාත්මක වෙබ් අඩවි, Online Encyclopedia සහ Open-source ව්‍යාපෘති වැනි සේවාවන් සඳහා ඇතැම් ව්‍යතිරේක ලබාදීමට නියමිතයි.
ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්න
කෙසේවෙතත්, දරුවන්ගේ වයස නිවැරදිව තහවුරු කරන්නේ කෙසේද, පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නේ කෙසේද සහ දැනට පවතින ගිණුම් හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතුව තිබෙනවා.
නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රංශයේ ව්‍යවස්ථානුකූල සමාලෝචනයකට සහ යුරෝපා සංගමයේ ඩිජිටල් නීති සමඟ ගැළපීම පිළිබඳ පරීක්ෂණයකටද ලක්විය හැකි බැවින්, සැලසුම් කළ දිනයේදී එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ හැකිද යන්න තවමත් නිශ්චිත නැහැ.
ඕස්ට්‍රේලියාවද මීට පෙර වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය සීමාවක් හඳුන්වාදී තිබූ අතර, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය සහ ග්‍රීසිය ඇතුළු තවත් රටවල් කිහිපයක්ද සමාන නීති පිළිබඳ අවධානය යොමුකරමින් සිටිනවා.





