ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ (Animation) කාටූන් චිත්‍රපටය නිර්මාණය කළ ප්‍රවීණ කලාකරුවෙකු සහ සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 73 වැනි වියෙහි පසුවූ ඒ මහතා පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ සහෝදරයෙකු වන ගිවන්ත අර්ථසාද් මහතා ශ්‍රී ලාංකේය සිනමා සහ රූපවාහිනී ඉතිහාසයේ සජීවීකරණ සහ දෘශ්‍ය ප්‍රයෝග (Special Effects) ක්ෂේත්‍රයන්හි පුරෝගාමියෙකු ලෙස සැලකේ.
1979 වසරේදී තිරගත වූ 'දුටුගැමුණු' චිත්‍රපටය නිර්මාණය කරමින් ශ්‍රී ලාංකේය සිනමාවට ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටය දායාද කළේ ඒ මහතා විසිනි.
සජීවීකරණයට අමතරව චිත්‍ර කලාව, කැමරාකරණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය සහ සිනමා ව්‍යාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක හෙතෙම සිය දක්ෂතා දක්වා ඇත.
සිනමා තාක්ෂණය සහ භාෂාව පිළිබඳව ලියවුණු වැදගත් කෘතියක් වන 'සිනමා - මායා' ග්‍රන්ථයේ කතුවරයා වන්නේද ගිවන්ත අර්ථසාද් මහතාය.
මීට අමතරව ඒ මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කෙටි කාලයක් සේවය කර තිබේ.





