ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සඳහා වරලත් වෘත්තීය ආයතනයක් පිහිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනය හෙවත් Chartered Institute of Computing of Sri Lanka සංස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ.

මෙම නව ආයතනය පිහිටුවීමට යෝජනා වී ඇත්තේ 1976 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පරිගණක සංගමය හෙවත් Computer Society of Sri Lanka – CSSL පදනම් කරගෙනය. රජයේ නිල නිවේදනය අනුව, CSSL යනු මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් නියෝජනය කරන ප්‍රමුඛතම වෘත්තීය සංවිධානයයි.

වරලත් තත්ත්වය හිමිවීම මගින් පරිගණක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට අනෙකුත් වරලත් වෘත්තීය ආයතනවලට සමාන නීතිමය හා වෘත්තීය පිළිගැනීමක් ලබාදීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් වේ.

එමෙන්ම ICT ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිතීන් ශක්තිමත් කිරීම, වෘත්තිකයන්ගේ අවශ්‍යතා නියෝජනය කිරීම සහ ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය ප්‍රමිතීන් සමඟ මෙරට පරිගණක ක්ෂේත්‍රය වඩාත් සමීප කිරීම සඳහාද මෙම ආයතනය වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව සැලකිල්ලට ගනිමින් ආයතනය සංස්ථාපනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීමටත්, අවශ්‍ය පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

Source·Newswire News.lk