Updated: Aug 7, 2026
Mobile Number Portability සේවාව සැප්තැම්බර් මාසයේදී නිල වශයෙන් ආරම්භ කරන බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව September අවසානය යනු සේවාවේ Launch Date එක නොව, අදාළ පාර්ශ්ව අතර එකඟතාවකට පැමිණීම සඳහා ලබාදී ඇති කාලසීමාවයි.

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන පරිශීලකයන්ට තමන් භාවිත කරන දුරකථන අංකය වෙනස් නොකර වෙනත් Mobile Network එකකට මාරුවීමට අවස්ථාව ලබාදෙන Mobile Number Portability හෙවත් MNP සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා සිදුකරමින් පවතිනවා.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත්තේ, මෙතෙක් පැවති ගැටලු නිරාකරණය කරමින් මෙම පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා Telecommunications Regulatory Commission of Sri Lanka හෙවත් TRCSL, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Telecommunications Operators අතර සාකච්ඡා මේ වනවිටත් පවත්වමින් සිටින බවයි.
අදාළ පාර්ශ්ව September මාසය අවසන් වනවිටත් MNP ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදන සහ Operatorsගේ Licence Conditions යටතේ Regulatory Direction එකක් නිකුත් කිරීමට TRCSL පියවර ගැනීමට නියමිතයි.
ඒ අනුව September අවසානය MNP සේවාව ජනතාව සඳහා Launch කරන දිනයක් නොවන අතර, Operators අතර එකඟතාවකට පැමිණීමට ලබාදී ඇති deadline එකක් ලෙස සැලකිය යුතුයි.
Mobile Number Portability කියන්නේ මොකක්ද?
Mobile Number Portability හෙවත් MNP සේවාව හරහා පරිශීලකයෙකුට තමන්ගේ දැනට පවතින Mobile Number එක තබාගෙන වෙනත් Network Provider කෙනෙකු වෙත මාරුවීමට හැකියාව ලැබෙනවා.
උදාහරණයක් ලෙස එක් Network එකක භාවිත කරන දුරකථන අංකයක් වෙනස් නොකර, එම අංකයම සමඟ වෙනත් Network එකක Packages, Coverage සහ අනෙකුත් සේවාවන් භාවිත කිරීමට මේ හරහා අවස්ථාව හිමිවනු ඇති.
මෙය ක්‍රියාත්මක වීමෙන් Network එකක් මාරු කිරීමේදී Banking Services, WhatsApp සහ අනෙකුත් Online Accounts සඳහා ලබාදී ඇති දුරකථන අංකය වෙනස් කිරීමට සිදුවන අපහසුතාවද අවම වෙනවා.
මේ වනවිට සිදුකර ඇති කටයුතු
TRCSL විසින් මීට පෙර Number Portability ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් Public Consultation ඇතුළු කටයුතු සිදුකර ඇති අතර, Telecom Operatorsගේ සහභාගිත්වයෙන් අදාළ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගද ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, පරිශීලකයන්ට Mobile Number Portability සේවාව භාවිත කිරීමට හැකි නිශ්චිත Public Launch Date එකක් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ.
රජය සඳහන් කරන්නේ පාරිභෝගික අයිතිවාසිකම් සුරකිමින් හැකි ඉක්මනින් මෙම පහසුකම ජනතාවට ලබාදීමට කටයුතු කරන අතර, MNP සේවාව ආරම්භ කරන නිල දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.





