කෘත්‍රිම බුද්ධි පද්ධති මඟින් හඳුනාගන්නා සයිබර් ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ඉක්මනින් තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ඇමරිකානු රජය නව සම්බන්ධීකරණ කණ්ඩායමක් පිහිටුවීමට සූදානම් වෙනවා.
මෙම වැඩසටහන යටතේ ප්‍රමුඛ AI සංවර්ධකයන් සහ බැංකු, රෝහල්, බලශක්ති ජාල ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන එකම ජාලයක් තුළ සම්බන්ධ කිරීමට නියමිතයි. එමගින් AI භාවිතයෙන් හඳුනාගන්නා මෘදුකාංග සහ යටිතල පහසුකම්වල දුර්වලතා ආයතන අතර බෙදාගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධීකරණය කිරීමට හැකි වෙනවා.
OpenAI සහ Anthropic වැනි සමාගම් නිපදවන උසස් AI පද්ධතිවලට විශාල මෘදුකාංග පද්ධති පරීක්ෂා කර ආරක්ෂක දෝෂ හඳුනාගැනීමේ හැකියාව පවතිනවා. කෙසේවෙතත්, එම හැකියාවම සයිබර් ප්‍රහාරකයන් විසින් දුර්වලතා සොයාගැනීමට සහ ප්‍රහාර සැලසුම් කිරීමට භාවිත කළ හැකි බවටද බලධාරීන් කනස්සල්ල පළ කරනවා.
නව කණ්ඩායම පිහිටුවීම සඳහා ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව, ආරක්ෂක දෙපාර්තමේන්තුව, National Security Agency සහ ජාතික සයිබර් අධ්‍යක්ෂ කාර්යාලය සම්බන්ධ වනු ඇති. Open-source AI models සංවර්ධනය කරන සමාගම්ද මෙම වැඩසටහනට ඇතුළත් කිරීමට නියමිත බව ධවල මන්දිරය සඳහන් කර තිබෙනවා.
AI පද්ධති කිහිපයක් එකම ආරක්ෂක දුර්වලතාව වෙන වෙනම හඳුනාගෙන කටයුතු කිරීම වෙනුවට, ඒ පිළිබඳ තොරතුරු සම්බන්ධ ආයතන අතර බෙදාගැනීම මෙම වැඩසටහනේ තවත් අරමුණක්. එමගින් බරපතළ දුර්වලතා සඳහා ඉක්මනින් ආරක්ෂක යාවත්කාලීන නිකුත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවා.
මෙම තීරණය මඟින් AI තාක්ෂණය සඳහා සීමිත මැදිහත්වීමක් අනුගමනය කළ ඇමරිකානු රජය, AI නිසා ඇතිවිය හැකි ජාතික ආරක්ෂක අවදානම් සම්බන්ධයෙන් වඩාත් සක්‍රීය ප්‍රතිපත්තියකට මාරුවෙමින් සිටින බවද පෙන්නුම් කරනවා.





